Read උත්පත්ති Chapter 24 Online
Read උත්පත්ති Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 24
පරිච්ඡේදය 24
1. ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමීන්වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශීර්වාදකර තිබුණේය.
2. ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට:
3. මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් ඔබ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන
4. මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් ඔබ දිවුරවන පිණිස ඔබේ අත මාගේ කළවය යට තබන්නැයි කීයේය.
5. එවිට මෙහෙකරුවා ඔහුට කථාකර: සමහරවිට ඒ ස්ත්‍රී මා කැටුව මේ දේශයට එන්ට අකැමැතිවන්නීය. එසේවීනම් ඔබ පිටත්ව ආවාවූ දේශයට මා විසින් ඔබගේ පුත්‍රයා නැවත ගෙන යා යුතුදැයි ඔහුට කීය.
6. ආබ්‍රහම්ද: ඔබ මාගේ පුත්‍රයා නැවත එහි ගෙන නොයන්ට බලාගන්න.
7. මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන් වහන්සේගේ දූතයා ඔබට පෙරටුව යවනසේක; ඔබ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.
8. නුමුත් ස්ත්‍රී ඔබ කැටුව එන්ට අකැමැතිවී නම් ඔබ මාගේ මේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙනනොයන්නැයි කීවේය.
9. මෙහෙකරුවා තමාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ කළවය යට අත තබා මේ කාරණය ගැන ඔහුට දිවුරුම් දුන්නේය.
10. එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය.
11. සවස් වේලෙහි, ස්ත්‍රීන් වතුර අදින පිණිස නික්ම යන වේලෙහි, ඔහු නුවරින් පිටත වතුර ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්සෙවුවේය.
12. ඔහු කථාකොට: මාගේ ස්වාමියාවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දවසෙහි මාගේ ගමන සඵලකරමින් මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ට කරුණාව පෙන්නුව මැනව.
13. බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති.
14. මට බොන පිණිස ඔබේ කළය පහත්කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, ඔබේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමියි කීය.
15. තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.
16. ඒ තරුණී ඉතා ශෝභන පෙනීමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු නොහැඳින සිටියාය. ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය.
17. මෙහෙකරුවා ඈ ඉදිරියට දිව ගොස්: ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්නට දියන්නැයි කීය.
18. ඈද: මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.
19. ඈ ඔහුට බොන්ට දුන් පසු: ඔබගේ ඔටුවන්ද බී නිමවන තෙක් උන්ටත් ඇද දෙන්නෙමියි කීවාය.
20. ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය.
21. ඒ මනුෂ්‍යයා ඈ දෙස ඕනෑකමින් බලා ස්වාමීන්වහන්සේ තමාගේ ගමන සඵලකළසේක්ද නැද්දැයි දැන ගන්නා පිණිස නිශ්ශබ්දව සිටියේය.
22. තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දසයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:
23. ඔබ කාගේ දියණියෝදැයි මට කියන ලෙස ඉල්ලමි. අපට නවාතැන් ගන්ට ඔබේ පියාණන්ගේ ගෙදර ඉඩ ඇද්දැයි කීය.
24. ඈද: මම වනාහි නාහොර් නිසා මිල්කා බිහිකළ පුත්‍රයාවූ බෙතුයෙල්ගේ දුවයයි ඔහුට කීවාය.
25. තවද: අප ළඟ සෑහෙන පමණ පිදුරුත් ගෝචරත් නවාතැනට ඉඩත් තිබෙනවායයි ඈ ඔහුට කීවාය.
26. ඒ මනුෂ්‍යයා හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට:
27. මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
28. ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය.
29. රෙබෙකාට ලාබන් නම්වූ සහෝදරයෙක් සිටියේය. ලාබන් වනාහි උල්පත ළඟ පිටත සිටි මනුෂ්‍යයා වෙතට දිව ගියේය.
30. ඔහු නාසාභරණයද තමාගේ සහෝදරීගේ අත්වල තිබෙන වළලුද දැක: ඒ මනුෂ්‍යයා මට මෙලෙස කථාකෙළේය කියා තමාගේ සහෝදරීවූ රෙබෙකා කී වචන ඇසූ කල ඒ මනුෂ්‍යයා වෙතට ගියේය; බලව, ඔහු උල්පත ළඟ ඔටුවන් වෙත සිටියේය.
31. ඔහු: ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්ත, ඇතුළට එන්න; පිටත සිටින්නේ මන්ද? මම ගෙයද ඔටුවන්ට ඉඩම්ද සූදානම්කෙළෙමියි කීවේය.
32. ඒ මනුෂ්‍යයා ගෙට ඇතුල්ව ඔටුවන්ගේ පටි මිදුවේය; ලාබන් ඔටුවන්ට පිදුරුත් ගෝචරත් ඔහුගේ පාදද ඔහු සමඟ සිටිය මනුෂ්‍යයන්ගේ පාදද සෝදන්ට වතුරත් දුන්නේය.
33. කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියනතුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය.
34. එවිට ඔහු: මම ආබ්‍රහම්ගේ මෙහෙකරු වෙමි.
35. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට බොහෝසෙයින් ආශීර්වාදකළසේක; ඔහු උත්තමයෙක් වී සිටියි. උන්වහන්සේ ඔහුට එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද රිදී සහ රත්රන්ද දාසයන් සහ දාසීන්ද ඔටුවන් සහ කොටළුවන්ද දී තිබේ.
36. මාගේ ස්වාමියාගේ භාර්යාවවූ සාරා තමාගේ මහලු වයසෙහිදී මාගේ ස්වාමියා නිසා පුත්‍රයෙකු බිහිකළාය. ඔහු තමන් සන්තක සියල්ල ඔහුට දී තිබේ.
37. තවද මාගේ ස්වාමියා-මා වසන රටෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් ඔබ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන
38. මාගේ පියාණන්ගේ ගෙටද මාගේ නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගන්න කියා මා දිවුරෙවුවේය.
39. මමද: ඒ ස්ත්‍රී සමහරවිට මා කැටුව නොඑන්නීයයි මාගේ ස්වාමියාට කීයෙමි.
40. එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දූතයා ඔබ සමඟ යවා ඔබේ ගමන සඵලකරනසේක; ඔබ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න.
41. මාගේ නෑයන් වෙතට පැමිණි කල්හි ඔබ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; ඔවුන් ඔබට ඇය නොදෙනවා නම් ඔබ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහියයි කීවේය.
42. ඒ හැටියට අද මම උල්පත ළඟට අවුත්: මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මා යන ගමන සඵලකරනසේක් නම් මෙසේ වේවා:
43. මෙන්න, මම උල්පත ළඟ සිටිමි; වතුර අදින පිණිස පිටතට එන්නාවූ: ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්ට මට දෙන්නැයි මා කියන විට-
44. බොන්න, ඔබේ ඔටුවන්ටත් ඇදදෙන්නෙමියි කියන්නාවූ කන්‍යාව ස්වාමීන්වහන්සේ විසින් මාගේ ස්වාමියාගේ පුත්‍රයාට නියමකළ ස්ත්‍රීම වේවයි කීමි.
45. මා විසින් මාගේ සිත තුළ කථාකර නිමවෙන්ට පළමුවෙන් රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන ඇවිත් උල්පත ළඟට බැස වතුර ඇද්දාය. එවිට: මට බොන්ට දෙන්නැයි ඈට කීමි.
46. ඈද ඉක්මනින් කළය ඇගේ කරෙන් පහත්කොට: බොන්න, ඔබේ ඔටුවන්ටත් බොන්ට දෙන්නෙමියි කීවාය. එවිට මම බීවෙමි, ඈ ඔටුවන්ටත් පෙවුවාය.
47. මමද: ඔබ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.
48. තවද මම මාගේ හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට, මාගේ ස්වාමියාගේ පුත්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි මා ගෙනාවාවූ, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
49. ඉදින් ඔබ සැම මාගේ ස්වාමියාට කරුණාවෙන්ද අවංකකමෙන්ද ක්‍රියාකරන්නහු නම් මට කියන්න; නැතහොත් මා විසින් දකුණට හෝ වමට හෝ හැරෙන පිණිස මට කියන්නැයි කීය.
50. එවිට ලාබන් සහ බෙතුයෙල් උත්තරදෙමින්: මේ වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙන් පැමිණි කාරණයකි. නරකක්වත් හොඳක්වත් ඔබට කියන්ට අපට නුපුළුවන.
51. මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන යන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ ඔබේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය.
52. ආබ්‍රහම්ගේ මෙහෙකරු තෙමේ ඔවුන්ගේ වචන ඇසූ විට බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාර කෙළේය.
53. මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.
54. ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමඟ සිටි මිනිසුන් කා බී මුළු රාත්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හරින්නැයි ඔහු කීවේය. ඇගේ සහෝදරයාද මවුද:
55. තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමඟ සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය.
56. ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.
57. තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය.
58. එලෙස ඔව්හු රෙබෙකාට අඬගසා: ඔබ මේ මනුෂ්‍යයා කැටුව යන්නෙහිදැයි ඇසුවෝය. යන්නෙමියි ඈ කීවාය.
59. එවිට ඔව්හු තමන්ගේ සහෝදරීවූ රෙබෙකාද ඇගේ කිරි මවුද ආබ්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය.
60. ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, ඔබ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, ඔබේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.
61. රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔටුවන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියෝය. මෙහෙකරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය.
62. ඊසාක් බෙයර්-ලහයි-රොයිට යන පාරෙන් ආයේය; මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය.
63. ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා, ඔටුවන් එනවා දුටුවේය.
64. රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය.
65. අර කෙතේ අප ඉදිරියට එන්නාවූ මේ මනුෂ්‍යයා කවුදැයි ඈ මෙහෙකරුවාගෙන් ඇසුවාය. ඒ මාගේ ස්වාමියායයි මෙහෙකරුවා කීය. එවිට ඈ තමාගේ වැස්ම රැගෙන මුහුණ වසාගත්තාය.
66. මෙහෙකරුවා තමා කළාවූ සියල්ල ඊසාක්ට කීවේය.
67. ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.
About උත්පත්ති Chapter 24
Read උත්පත්ති Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 24
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 24?
උත්පත්ති Chapter 24 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 34
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 49
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 24
- 1 සාමුවෙල් Chapter 18
- හිතෝපදේශ Chapter 31
- නෙහෙමියා Chapter 7
- ගීතාවලිය Chapter 114
- යෝෂුවා Chapter 10
- 2 රාජාවලිය Chapter 14